කල්‍යාණ මිත්‍රයෝ

ජීවිත කාලය පුරාවටම අපට නොයෙක් අවස්ථාවල, නොයෙක් විදිහේ ගතිගුණ ඇති මිතුරන් හමුවෙනවා. මේ අතුරින් ආශ්‍රයට සුදුසු මිතුරන් තෝරා ගැනීම අපේ වගකීමක්. බුදුන්වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙන් කල්‍යාණ මිත්‍රයන් සහ පාප මිත්‍රයන් ගැන පැහැදිලිව දේශනා කලේත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ජීවිතයට ඉතා වැදගත් නිසයි. මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වන්නෙත් කල්‍යාණ මිත්‍රයන් ගැන බුද්ධ දේශනාවන්හි සඳහන් කරුණු පිළිබඳව කතිකා කරන්නටයි.

ගොඩක් වෙලාවට හොඳ වැඩක් කරද්දි වගේම නරක වැඩක් කරද්දිත් මුල් වෙන්නෙ යාළුවො. ඉතින් සමාජයක දුසිරිත් දුරාචාර එන්න එන්නම වැඩිවෙනවා කියන්නෙත්, පාප මිත්‍ර ඇසුර වැඩි වෙලා කියන එකයි. කල්‍යාණ මිත්‍රයන් මෙන්ම පාප මිත්‍රයන් හඳුනාගැනීම වුවත් අද කාලයේ පහසු නැහැ. ඕනම ගේමකට ලෑස්ති, බුදු ෆිට් එක, බොක්ක කියලා හඳුන්වන හැම මිත්‍රයෙක්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කල්‍යාණ මිත්‍රයොද කියලා තේරුම් ගන්න තරම් බුද්ධියක් කෙනෙකුට තියෙන්න ඕනෙ. තමන් කියන කරන දේ හරි හෝ වැරදි, ඊට උපකාර කරන මිතුරා තමන්ගෙන් ඊට වඩා වාසියක් මතුවට බලාපොරොත්තු වෙන්න ඉඩ තියෙනවා. සමහරවිට අද ඔබේ වැරදි වලට අනුබල දෙන මිතුරා, අනාගතේ තවත් අපායට පාර කැපෙන කටයුත්තකට ඔබේ සහය බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුළුවන්. එහෙව් ලෝකෙක සැපේදි මෙන්ම දුකේදිත් ලඟින් ඉන්න මිතුරන් කව්ද කියලා වටහා ගන්න පුළුවන් වෙන්නෙ කෙනෙක් විපතකට පත් වුණ වෙලාවකටමයි.

සිඟාලෝවාද සූත්‍රයේ එන අන්දමට කල්‍යාණ මිත්‍රයන් මෙන්ම පාප මිත්‍රයන්ද කොටස් හතර බැගින් වෙයි.

  • අඥ්ඥදත්තුහර – හැමවිටම මිතුරාගෙන් යමක් බලාපොරොත්තු වෙයි. සුළුවෙන් යමක් දී වටිනා යමක් බලාපොරොත්තු වෙයි. මිතුරාට බියක් ඇත්නම් ඔහුගේ කටයුතු කරන අතරම තම ලාභය, ප්‍රයෝජනය පමණක්ම සලකයි.
  • වචීපරම – වචනයෙන් පමණක් සංග්‍රහ කරමින් මිතුරාගෙන් ලාභ බලාපොරොත්තු වෙයි. ඉකුත් වූ දෙයින් සහ මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරන අතර කටයුත්තක් පැමිණි කල්හි තමාට වූ විපතක් දන්වා මඟහැර යයි.
  • අනුපියභාණි – තමන් ඉදිරිපිටදී පමණක් මිතුරාගේ ගුණ වයන, නැති තැනදී වැරදි කියන යහපත් අයහපත් සියළු දේ අනුමත කරන, රැවටිලි බස් කියන කෙනෙකි.
  • අපාය සහාය – මෙම පාප මිතුරා මත්පැන් පානය, නොකල්හි වීදි සංචාරය, නැටුම් ඇති තැන්හි රැඳීම සහ සූදුව යන අයහපත් සියළු කටයුතු වලට නැවත නැවතත් උර දෙමින් පරිහාණිය කරා රැගෙන යයි.

මෙවන් ගතිගුණ ඇති මිතුරන් හඳුනාගන්නටත් ඔවුන් ආශ්‍රයෙන් ඈත් වන්නටත් බුද්ධිමත් මිනිසා සමත් විය යුතුය.

කල්‍යාණ මිතුරන් ගැන දේශනා කිරීමේදී බුදුන් වහන්සේ උපකාරක, සමාන සුඛ දුක්ඛ, අනුකම්පක සහ අත්ථක්ඛායි යනුවෙන් කලණ මිතුරන්ද වර්ග හතරක් හඳුන්වා දී ඇත.

  • උපකාරක මිතුරා – තම මිතුරාත් ඔහුගේ ධනයත් රකිමින් මිතුරාට උපකාර කරන්නෙකි. ඔහු භයක් පැමිණි විට මිතුරාට උපකාර කරන අතර කටයුත්තක් ඇති කල්හි දෙගුණයක් වස්තුව දෙයි.
  • සමාන සුඛ දුක්ඛ මිතුරා – විපතේදීත් නොවෙනස්ව සිටින, තම රහස් මිතුරාට කියන සහ මිතුරාගේ රහස් ආරක්ෂා කරන පුද්ගලයෙකි. මිතුරාගේ යහපත සඳහා ජීවිතය වුව පිදීමට සමත් මිතුරෙකි.
  • අනුකම්පක කළණ මිතුරා – මිතුරාගේ පිරිහීමට නොසතුටු වන, දියුණුවට සතුටු වන, මිතුරාගේ නුගුණ කියන්නවුන් වළකන සහ ගුණ කියන්නවුන්ට ප්‍රශංසා කරන මිතුරෙකි.
  • අත්ථක්ඛායි මිතුරා – සිය මිතුරා පවින් මුදවා කුසලයෙහි යොදවන කළණ මිතුරෙකි. නොඇසූ දෙය අසන්නට සලස්වන, දෙව්ලොවට මග කියන මිතුරෙකි.

අප අවට වෙසෙන මිතුරන් අතරින් මේ සිව්වැදෑරුම් මිතුරු ගුණ සහිත කල්‍යාණ මිත්‍රයන් කවුරුද යන්න නොපමාව හඳුනාගන්නට අප කටයුතු කළ යුතුයි. කරන හැම කටයුත්තකටම උදව් නොදී, හරි වැරැද්ද තෝරා බේරාගෙන, යහපත් දේට උපරිමයෙන් උදව් කරන මිතුරා, දුසිරිතෙන් ඔබව ගලවාගන්න අර අදින මිතුරා සැබෑ කල්‍යාණ මිත්‍රයෙක්. එවන් කල්‍යාණ මිත්‍රයෙකුගේ ගුණ හඳුනාගන්න නම් තමනුත් ඒ ගුණ පුරුදු පුහුණු කළ යුතුයි. තවත් කෙනෙකුට පාප මිත්‍රයෙක් වෙමින් තමන්ට කල්‍යාණ මිත්‍ර ඇසුර ප්‍රාර්ථනා කිරීම නිෂ්ඵල දෙයක්. එබැවින් කල්‍යාණ මිතුරු ඇසුරට වැටෙන්න නම් අපිත් පළමුව කල්‍යාණ මිතුරෙකු සතු ගුණාංග අප තුල දියුණු කළ යුතුයි, අපත් අපේ මිතුරන්ට කලණ මිතුරන් විය යුතුයි. ඒ කළණ මිතුරන්ට ඉහත ගුණාංග වලින් සැලකීමට ඔබත් පුරුදු පුහුණු වෙයි නම් දුසිරිතෙන් ඈත්ව ධර්මයේ හැසිරෙන්නට එයම මහත් පිටිවහලක් වේවි.

  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න