සොකරී යන්න එපා…

අද සමාජයේ මිනිසාට සමීපතම දේ මාධ්‍ය කියලා අපි කිව්වොත් වැරදිද? විශේෂයෙන් තරුණ පරපුරට නම් දෙමාපියන්ටත් වඩා විද්‍යුත් මාධ්‍ය සමීපයි වගේ. සමහරු කියනවා වයසෙ වැරැද්ද කියලත්… කොහොමත් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ වැරදි වයස් වල ඉන්න අය ගැන නෙමෙයි. මල් වගේය කියල කියන පුං‍චි දරුවන් ගැන… ඒ වගේම ඒ පුංචි මල් වලට උරුම ළමා කාලය ඔවුන් විඳිනවද කියන කාරණය ගැන.

අද ලිපියේ මාතෘකාව හැටියට ගත් ගීතය, අපි අද කතා කරන්න යන මාතෘකාවට අදාල එක් ගීතයක් පමණයි. මේ වගේ තවත් ගීත මේ ලිපිය කියවන ඔබගෙ මතකයටත් දැන් එනවා ඇති. මේ එක් උදාහරණයක් විතරයි. මේ ගිතයේ හෝ මෙවන් ගීත නිර්මාණකරුවන්, එම ගීත රචකයන් ආදී පිරිසට විරුද්ධව මෙම ලිපිය නොලියන බවත් මුලින්ම සඳහන් කරන්න ඕනෙ. මේ ගීත මාධ්‍ය හරහා ප්‍රචාරය වෙද්දි ඒවා ශ්‍රවණය කරන පොඩි දරුවන් ගීත හරහා උකහා ගන්න දේ ගැනත්, ඒ හරහා පොඩි දරුවන්ගේ මානසිකත්වය හැඩගැසෙන හැටි ගැනත් කතාකරන්නයි අද අපේ වෑයම. ටිකක් හිතන්න, මේ වගේ ගීතයක් අහන පොඩි දරුවෙක් ඔබ වෙත ඇවිත්…

“පැණිරස කෑම දිව ගාලා කංසා බොන්න කියන්නෙ ඇයි අම්මෙ?” කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ.

ඔබ පිරිසක් මැද ඉන්න වෙලාවක දරුවා ඇවිත්… “ඉඟත් බෝම පොඩි ලැමත් බෝම ඇති කියන්නෙ මොකද්ද තාත්තෙ?” කියලා ඇහුවොත් දෙන උත්තරේ හිතාගන්න පුළුවන්ද?

ඔබ ඒ අවස්ථාවෙ දරුවට සැර කලොත් දරුවා තේරුම් ගනීවි මොකක් හරි වැරදි දෙයක් තමන් අහපු බව. එහෙම කියලා ප්‍රශ්න අහන එක නවත්තයිද? නෑ… ඊලඟ පාර ඔහොම ප්‍රශ්නයක් ආවොත් ප්‍රශ්නෙ අරන් යන්නෙ වෙනත් කෙනෙක් ලඟට. ඒක ඊට වඩා හානිකර වෙන්න පුළුවන්. පොඩි දරුවන්ට නුසුදුසු දේවල් උගන්නන අය ඕන තරම් මේ සමාජෙ ඉන්නවා.

මේ ගීත මාධ්‍ය වලින් ප්‍රචාරය වෙන එක නවත්වන්න අපහසුයි. ගෙදරදි අහන්න නොදුන්නත්, මඟ තොටේදි, බස් රථයකදි දරුවන්ට මේ ගීත ඇහෙන්න පුළුවන්. හොඳම දේ තමයි ඕන දෙයක් කතා කරලා වටහලා දෙන්න පුළුවන් තරමට දරුවන්ව දෙමාපියන්ට සමීප කරගන්න එක. ඕන ගැටළුවක් තමන් එක්ක කතා කරලා විසඳගන්න සුදුසුම පුද්ගලයන් දෙමාපියන් බව දරුවන්ට ඒත්තු ගන්වන්න. පොඩි කාලෙ ඉදන්ම හොඳ නරක කියලා දෙන්න. සැර වැර කරලා නෙමෙයි, බොහොම ඉවසීමෙන්, පුංචි හිත් රිද්දන්නෙ නැතිව.

අද මාධ්‍ය වලින් අහන්න දකින්න ලැබෙන දේ පොඩි දරුවන් හරි ඉක්මණට ග්‍රහණය කරගන්නවා. මීට දශක කිහිපයකට කලින් ජීවත් වුණ දරුවන්ට වඩා ඉක්මණට අද දරුවන් සමාජයට යනවා. ඔවුන් බොහෝදෙනෙක් වැඩෙන්නෙ රූපවාහිනී, පරිගණක එක්ක. නැලවිලි ගී ගයලා දරුවන්ව නලවපු අම්මා අද ඉතාම කාර්ය බහුල වෙලා. ඒ නිසා රූපවාහිනී, වීඩියෝ ගේම් වගේ දේවල් වලට දරුවන්ව යොමු කරලා තම කටයුතු කරගන්න දෙමාපියන් පෙළඹෙනවා. පවතින සමාජ සහ ආර්ථික තත්වය ඉදිරියේ දෙමාපියන්ව වරදකරුවන් කරන්න අපිට බැහැ. නමුත් තමන්ගෙ දරුවන් අහන්නෙ බලන්නෙ මොනවගේ වැඩසටහන්ද, සෙල්ලම් කරන්නෙ ඔවුන්ගෙ වයස් වලට සුදුසු ක්‍රීඩා සමඟද, පරිගණකය, අන්තර්ජාලය හරහා ආශ්‍රය කරන්නෙ තමන්ට ගැලපෙන වයස්වල දරුවන්ද කියන කාරණා ගැන හොයලා බලන එක දෙමාපියන්ගෙ වගකීම. අන්තර්ජාලය හරහා හමුවෙන ඇතැම් මිනිසුන්ගේ සැබෑ ගති හඳුනාගන්න වැඩිහිටියන් පවා අසමත් වෙන සමාජයක පොඩි දරුවන් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ නේද?

අද වීඩියෝ ගේම් පවා ඉතාම ජනප්‍රියයි. අවුරුදු හතරෙ පහේ පුංචි දරුවන් පවා GTA, Warfare වගේ වීඩියෝ ගේම් ක්‍රීඩා කරන බව පාඨක ඔබත් දන්නවා ඇති. වෙඩි තියන්න, මරාගන්න, සොරකම් කරන්න, ගහගන්න දරුවන්ගෙ මානසිකත්වය හැඩගැහෙන්නෙ මේ වගේ ක්‍රීඩා වලින්. භයානකම දේ තමයි මේ හැම දෙයකින්ම වීරයෙක් වෙන්න පුළුවන් කියන අදහස මේ ක්‍රීඩා කරන දරුවන්ගෙ මනසට ඇතුළු වීම. හැබෑ ලෝකෙ ඔය ක්‍රීඩා වලට වඩා වෙනස් කියලා තේරුම් ගන්න තරම්වත් දැනුමක් නැති පුංචි දරුවන්ගෙ අතට මේ වගේ ක්‍රීඩාවක් දෙන්න කලින් වරක් නෙමෙයි දහස් වාරයක් දෙමාපියන් හිතන්න ඕනෙ නේද?

ගොඩක් දෙමාපියන් තමන්ගෙ තරුණ දරුවන්ට බණිනවා. කමකට නෑ, කියන දෙයක් අහන්නෙ නෑ වගේ චෝදනාවල් ඔවුන්ට එල්ල කරනවා. ඒ දෙමාපියන්ට පුළුවන් කල්පනා කරලා බලන්න දරුවා පොඩි කාලෙ දරුව කියන දේ අහගෙන ඉන්න වෙලාවක් තමන් වැය කලාද? දරුවට හරි වැරැද්ද කියලා දෙන්න තමන්ගෙ කාලයෙන් කොටසක් වෙන් කලාද? ළමයි නරක් උනාට පස්සෙ උන්ට බැනලා වැඩක් නැහැ. දරුවො කරන්නෙ කියන්නෙ මොනවද කියලවත් හොයාබලන්නෙ නැතුව දෙමාපියන් වෙහෙසෙන්නෙත් දරුවන්ගෙම අනාගතය වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒත් නොසැලකිල්ල නිසා දරුවන් අයාලෙ ගියොත් වෙච්ච මහන්සියත් අපරාදෙ, ඊට වඩා දරුවන්ගෙ ජීවිතත් අපරාදෙ. දරුවෙක්ගෙ මුල් ගුරුවරු හැටියට දරුවා සමාජයට යන්න කලින්ම යහපත් ගතිගුණ ජීවිතයට එකතු කරන්න මුල් පියවර තබන්න ඕනෙ ගෙදරින්.

මේ සටහන, පුංචි දරුවො ගැන සැලකිල්ලෙන් ඉඳලා ඔවුන් අයාලෙ යාමෙන් වලක්වාගන්න කියලා අපි ආදරණීය දෙමාපියන්ට කරන ආයාචනයක්.

  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න