නිවස > කාළීන සිදුවීම්, බුදු දහම, හෙළ උත්සව > නිවන් මඟ අවුරන භව තණ්හාව

නිවන් මඟ අවුරන භව තණ්හාව

මේ එළඹෙන්නෙ වෙසක් පුන් පෝ දිනයයි. ගණන් බලා ඇති අන්දමට සිදුහත් බෝසතුන් බුද්ධත්වය ලබා වසර 2601ක් පිරෙන්නෙ මේ වෙසක් මාසයටයි. දාන මාන, ආලෝක පූජා සහ ප්‍රතිපත්ති පූජා වලට මුල්තැන් දෙමින්, ලොවපුරා වෙසෙන බොදු සැදැහැවතුන් උත්සවාකාරයෙන් වෙසක් පොහොය සමරන්නට ලක ලැහැස්ති වෙන මේ මොහොතේ, අප තවමත් අඳුරේ අතපත ගාන නිර්වාණ මාර්ගය සොයා යාම පිළිබඳව කතා කරන්නටයි අපේ මේ සූදානම…

ලෝ සතුන්ට නිවන් මඟ විවර කරදුන් මහා කාරුණිකයාණෝ අපට කියාදුන් නිර්වාණ මාර්ගය සොයා යන්නට තවමත් අපවෙත ඉතිරිව ඇති බව පසක් කරවමින්, දන්සැල්, පින්කම් ආදී අනන්ත වූ වෙසක් සැමරුම් සමඟ තවත් වෙසක් පුන් පෝ දිනයක් මෙලෙසින් ගෙවී යාමට නියමිතයි. සෑම වසරකම මෙලෙසින් කුසල ක්‍රියාවන්හි නිරත වෙන අප කාටත්, සසර මඟ තව බොහෝ දුරක් යන්නට ඉතිරි බව අප සැමදෙනාගේම මතයයි. එය හැබෑවක්ද? නැතිනම් මේ සසර ගමන අප විහින්ම දික්කරගත්තක්ද? මොහොතක් නැවතී සිතා බලමු.

දුකට පත් බොහෝ දෙනා පුණ්‍ය ක්‍රියා වල නියැලී පතන්නේ ලබන ආත්මයවත් දුකින් තොර වේවා යන්නයි. ඒ භව තණ්හාව නොවේද? දිව්‍ය ලෝකයේ සැප සම්පත් වලට ආශාවෙන් මරණින් මතු දිව්‍ය ලෝකයක උපදින්නට සිතා පින් දහම් කරන උදවියත් අප අතර අඩු නොවෙයි. මරණින් මතු දිව්‍ය සම්පත් ලැබුවත් ඒ පින් බලය අහවර වූ දිනෙක නැවතත් ලබන්නේ මිනිසත් බවයි. නැතිනම් පෙර පින් නිසා යටපත්ව තිබූ අකුසල් විපාක දී දුගතියක ඉපදෙන්නටත් සිදුවේවි. මිනිසත් බව ලද අවස්ථාවේ එය ප්‍රයෝජනයට ගෙන, චතුරාර්‍ය සත්‍ය අවබෝධය පතා කුසල් රැස් කලා නම් එයම සසර පුරුද්දක් බවට පත් කරගෙන සසර ගමන කෙටි කරගත හැකි නොවේද?

අද වෙන විට බොහොමයක් බොදුනුවන් නිර්වාණ මාර්ගයෙන් ඈත් වෙලා යැයි අප පැවසුවොත් කී දෙනෙක් නම් ඊට එකඟ වේවිද? කී දෙනෙක් නම් විරුද්ධ වේවිද? කලකට ඉහත “බුදුබණ ඇසුවට නිරන්තරේ” යන මාතෘකාව යටතේ නිර්වාණය අපේක්ෂා කරන කෙනෙක් යායුතු ගමන කෙබඳුද යන්න පාඨක ඔබෙන් අපි ප්‍රශ්න කළෙමු. අදහස් දැක්වූ බොහෝ දෙනාගේ මතය වූයේ මිනිසත් බවක් ලැබේයැයි අවිනිශ්චිත ලබන ආත්මයකට කල් දැමීමට වඩා මෙම ආත්මයේ ලද මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ගත යුතු බවයි. එනම්, තෘෂ්ණාවෙන් මිදී නිර්වාණය අවබෝධ කරගැනීමට මෙම භවය තුලම සූදානම් වීම සුදුසු බවයි. එසේනම් තව තවත් කම් සැප සොයා සදෙව්ලොව සරන්නට හෝ දුකින් තොර මතු භවයක් ලබන්නට කරන ප්‍රාර්ථනා පසෙක ලා උතුම් වූ නිර්වාණය පසක් කරගැනීමේ චේතනාවෙන් කුසල් රැස් කරමු.

ඔබ සැමට සසර කෙළවර තථාගත ධර්මය පසක් වේවා!

  1. 2012 මැයි 5 දින ප.ව. 10:56 ට

    අප කෙසේ කීවද භව තණ්හාව නැති කිරීම ඇත්තවශයෙන් ම අසීරුය. කොපමණ දුක විඳින කෙනකු උවද සිතන්නේ මොනවා හරි පිනක් කර ගෙන ඊළග ආත්මයවත් සැපෙන් ගත කිරීමටයි. ඒකට තමයි මාරයා කියන්නේ.

  2. kumara karunarathna
    2014 පෙබරවාරි 22 දින ප.ව. 9:03 ට

    බුදු දහම මනසින් අත්විද සිත නැතිකර නිවනින් සැනසෙන්න.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න