නිවස > ඉතිහාසය > ගාමිණී අභය හෙවත් දුටුගැමුණු

ගාමිණී අභය හෙවත් දුටුගැමුණු

කාවන්තිස්ස රජුට දාව විහාර මහා දේවියට උපන් ගැමුණු කුමරු ගාමිණි අභය නම් විය. සිය පියාගේ වචනය වත් නොතකන හේ, රුහුණේ මාගමින් පලා ගොස් සේනා සංවිධානය කොට එවකට 44 වසරක් පුරා අනුරපුරය අගනුවර කොටගෙන රාජ්‍ය කල එළාර නම් සොළී රජු පරදවා නැවතත් සිංහලය එක්සේසත් කරයි. බුදු දහම වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කරයි. එසේ වුවත් දුටුගැමුණු කුමරු නිවසින් පිටවන්නේ සිය පියාට කාන්තා ඇඳුම් යවා ඔහුට අපහාස කරමිනි. සටන් කරන කාලයේද සිය සොයුරු සද්ධාතිස්සයන් සමඟ ආරවුල් ඇතිකර ගනී. එමෙන්ම ගැමුණු විසින් පරාජය කරන ලද එළාරත් යුක්තිගරුකය. ඔහු යුක්තිය ඉටු කරනුවස් සීනුවක් එල්ලා තැබූවෙකි. මේ මහාවංශ කතෘ තුමා පරිච්ඡේද 24ක් පුරාවට ගුණ වයන දුටුගැමුණු චරිතයේ සාරාංශයයි.

ඉතිහාසය ගවේෂණයේදී අප හැමවිටම වෙනස්ම මඟක් ගතිමු. මහාවංශයටම සීමා නොවී එයද තොරතුරු ලද හැකි එක් මූලාශ්‍රයක් පමණක් බව සලකා ඉදිරියට ගියෙමු. මේ එම ගමනේදී අපට හමුවුණු ගැමුණු අබා හෙවත් දුටු ගැමුණු රජුගේ කතාන්දරයයි. සැබැවින්ම ඔහු කවුද? යක්ෂ ගෝත්‍රික හෙළයෙක්ද? ආර්‍ය වංශිකයෙක්ද? හුදෙක් සිංහලයෙක්ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාර කරමු.

දුටුගැමුණු රජු අයත් වන පරපුර ගැන සැලකිලිමත්ව විමසා බැලීම වටී. විහාරමහා දේවිය අයත්වන පරපුර පැවත එන්නේ පනිත රජුගෙනි. ගෞතම බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කරන කාලයේදී ඔහු අනුරාධපුරයේ පාලකයා විය. සුමන රජු කඳුරට පාලනය කලේය. එම පරපුරෙන් පැවතෙන මහතිස (කැළණිතිස්ස) රජු කැළණිය වාසය කොට විසීම හා විහාර මහාදේවිය (අබිසවෙර) නැවක පාකර හැරීම යන පුවත සලකා බලන කල ඔවුන් නාවික කටයුතු වල යෙදුන බව පැහැදිලිය. එමෙන්ම බෝවත්තෙගල සහ කොටාදැවු හෙළ යන ස්ථාන වල ඇති විහාර දේවියගේ සෙල්ලිපි වල නැව් සංකේත දක්නට ලැබේ. ආර්‍යයන් මෙහි එන්නට පෙර විසූ සිව් මහා ගෝත්‍ර වලින් නාවික කටයුතු වල යෙදුනේ නාග ගෝත්‍රිකයන්ය. විහාරමහා දේවිය නාග ගෝත්‍රික බව නිගමනය කල හැකි අතර ඊට රුකුල් දෙන ශිලා ලේඛන මේ වනවිට හමුවී ඇත.

දෙවනපෑතිස් සොයුරු මහානාගද නාග ගෝත්‍රිකයෙක් බව ඇතැමෙක් කියයි. එනමුදු සුමනට සමකාලීන විය හැකි මහානාග ඒ හේතුවෙන්ම බුදුන් වහන්සේටද සමකාළීන හෝ ඊට ආසන්න විය යුතුය. එසේනම් ඔහු දෙවනපෑතිස් සොයුරු විය හැකිද? ගෞතම බුදුන් ලක්දිවට වැඩම කරන කල ලක්දිව ප්‍රාදේශිය පාලකවරු 13 දෙනෙක් විය. කැළණිය – මහතිස (කැළණිතිස්ස) පනිත රජුගෙන් පැවතෙන්නාසේම, මාගම කාවන්තිස්සද එම ප්‍රාදේශිය පාලකයන්ගෙන් පැවතෙන්නන් විය හැක. . විජයාගමනයට පසුව දුටුගැමුණු සමය වනතෙක් මහාවංශයෙන්ද ලක්දිව රුහුණ ගැන වැඩි විස්තරයක් සැල නොවීම තුලින් මේ පිළිබඳ පැහැදිලි නිගමනයකට පැමිණීම අසීරු වී ඇත.

වසර ගණනාවක් පුරාවට සොළී පාලනය යටතේ වූ අනුරාධපුරය ඉන් මුදවා ගැනීමේ මෙහෙයුම අරඹන්නේ සැබැවින්ම කාවන්තිස්ස රජුයි. ඒ වනවිට තරමක් විරසකව සිටි සිව් මහා ගෝත්‍ර එක අරමුණක් කරා ඒකරාශී කරන්නට ගත් වෑයමේ ප්‍රථම පියවර ලෙස නාග ගෝත්‍රික විහාරමහ දේවිය විවාහ කරගත්තා විය හැක. එමෙන්ම කාවන්තිස්ස රජුගේ නැගණිය සෝමාදේවිය විවාහ වන්නේද යක්ෂ ගෝත්‍රික ගිරි අභය සමඟයි. මීලඟට ඔහු කලේ සේනා සංවිධානයයි. වේළු සුමන, සුරනිමල ආදී යෝධයන් රැස්වුණේ ගැමුණු කුමරු වෙත නොව කාවන්තිස්ස රජු වෙතයි. ගැමුණු කුමරු එළාරට විරුද්ධව සටනට සැරසෙන කල ඔහු කොත්මලයට පලාගිය බව වංශකතා කරුවා කියයි. එහෙත් එකල කොත්මලය යක් විමානයකි. යක්ශ ගෝත්‍රිකයන් විසූ කොත්මලයටම ගැමුණු කුමරු ගියේ ඇයි? කාවන්තිස්ස රජුම කුමරු එහි යැව්වා විය නොහැකිද? අනාගතයේ එළැඹෙන යුද්ධයට යක්ශ ගෝත්‍රිකයන්ගේද සහය ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන්නට ඇත. දුටුගැමුණු කුමරු වයස අවුරුදු දහසයේ සිට විසි අට දක්වා වසර දොළහක් ගතකරන්නේ කොත්මලයෙයි (කොත්මලේ පුරාවෘත, කෙහෙල්ගමුවේ 42).

එළාර පරදවා ලක්දිව එක්සේසත් කරන ගැමුණු කුමරු මහාවංශයේ වීරයාය. හෙළයේ හැම බොදු දරුවෙකුගේම වීරයාය. එහෙත් ඔහුව වීරයෙක් කරන්නට ඔහු වටා යෝධ පවුරක්ව දිරිය සැපයූ අනෙකුත් චරිත ගැන අවශ්‍ය පමණට ඉතිහාසයේ සදහන් නොවීම කණගාටුවට කරුණකි. ගැමුණු රජුගේ බිසව වූයේ රන්මැණිකා නම් කොත්මලේ යක්ශ ගෝත්‍රික තරුණියකි. ගැමුණු රජුගේ පුත් සාලියද අශෝකමාලා නම් තරුණියකට පෙම්බැඳ ඔහුට රජකම පවා අහිමි වූ බව පැවසේ. එනමුදු අප එය දකින්නේ වෙනස් කෝණයකිනි. එනම්, දුටුගැමුණු රජුගෙන් පසු රාජ්‍ය පාලනයට සුදුසුම පුද්ගලයා සාලිය කුමරුට වඩා තිස්ස කුමරු වන්නට ඇත. වයසින් මෙන්ම රාජ්‍ය පාලනයේ අත්දැකීම් වලින්ද තිස්ස කුමරු පරිණත විය. ඒ හේතුවෙන් ගැමුණු රජුගෙන් අනතුරුව සද්ධාතිස්ස රජවිය. එම තේරීම වැරදි නැති බව ඔප්පු වන්නේ දුටුගැමුණු අභාවයත් සමඟම සොළීන් නැවතත් ලක්දිව ආක්‍රමණය කරන්නට ගොස් (නල මුක්කර ආක්‍රමණය) සද්ධා තිස්ස රජුගේ සේනාව අතින් අන්ත පරාජයකට පත්වීම නිසයි (මෙම කරුණු හා ආක්‍රමණ ප්‍රසිද්ධ ඉතිහාසයේ සඳහන් නොවීම කණගාටුවට කරුණකි). එමෙන්ම සාලිය කුමරු හා විවාපත් අශෝකමාලාද අසුර ගෝත්‍රයකට අයත් බවට තොරතුරු ජනවහරේ එයි. සාලිය කුමරු ලක්දිව විල්පත්තු ආශ්‍රිත ප්‍රදේශය පාලනය කල බව සදහන් වන අතර සාලිය කුමරුගේ මාලිගයේ නටඹුන් අදටත් විල්පත්තු වනෝද්‍යානයේදී දක්නට ලැබේ.

~ මතුසම්බන්ධයි ~
ප්‍රවර්ග:ඉතිහාසය
  1. 2010 අප්‍රේල් 26 දින පෙ.ව. 11:20 ට

    බොහොම වැදගත් ලිපියක්, චේතියා. පාසලේදී වුණත් උගන්වන ඉතිහාසය මොන තරම් අඩුලුහුඬුකම් සහිතද? මම නොදැන සිටි හුඟක් කරුණු දැන ගත්තා. ඒ වගේම, මේ තොරතුරු ලබා ගත් මූලාශ්‍ර සඳහන් කළ හැකිනම් ලිපියේ වැදගත්කම තව තවත් වැඩි වේවි. තව තවත් මේ ගැන හොයන්න, දැන ගන්න ආස අයට එය පිටුවහළක් වේවි.
    බොහොම ස්තුතියි.

  2. චතුර විජේකෝන්
    2010 අප්‍රේල් 27 දින ප.ව. 1:10 ට

    බොහොම ස්තුතියි

  3. මහ රාවණා
    2010 අප්‍රේල් 27 දින ප.ව. 2:06 ට

    ඉතාමත් වටිනා ලිපියක්. බොහෝ පින්.

    බුදු සරණයි !!!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න