Archive

Posts Tagged ‘ගීතය’

ගෝතම ගීතය

“කර්මයෙන් සියල්ල සිදුවෙතැයි බොහෝ දෙනා සිතති. ඉරණම කර්මය යයි ඔවුහු සලකති. කර්මයෙන් සියල්ල සිදුවේ නම් උත්සාහයක් කුමටද බ්‍රාහ්මණය? මේ කර්මවාදය නිසා බොහෝ මනුෂ්‍යයෝ නිවටව පසුවෙති; අලස ව නිදති. යහපත් සිතිවිලිත් දෘඪ ආත්ම ශක්තියක් ඇත්නම් පින්වත ඔබට බුදු විය හැකි ය. සිත දෛවයේ නිර්මාතෘ වරයාය. ඔබේ සිතුවිලි බලය අනුව ඔබේ ඉරණම විසඳේ.” (පිටුව 126)

බෞද්ධ සංස්කෘතියේ සහ බෞද්ධ දර්ශනයේ ශ්‍රේෂ්ඨත්වය නිමිති කරගෙන නවකතා රචනයට ප්‍රසිද්ධියක් උසුලන ජයසේන ජයකොඩි නම් අපූර්ව ලේඛකයා අතින් අකුරු කෙරුණු තවත් නවකතාවක් ගෝතම ගීතය නම් වෙයි. අසමසම ලොව්තුරා බුදුවරයෙකුගේ ගුණ මහිමය ගැන විස්තර කෙරෙන මෙම නවකතාවට පාදක කොටගෙන ඇත්තේ බුදුන් වහන්සේව විවාහ කරගන්නට සිතා එය ඉටුනොවූ පසු උන්වහන්සේගෙන් පලිගන්නා අරමුණින් විවිධ අකුසලයන්හි යෙදුණු මාගන්ධි බැමිණියගේ කතාවයි. සියළු අපහාස, දෝෂාරෝපණ මධ්‍යයේ නොසෙල්වී සිටිමින්, උපේක්ෂාවෙන් විඳදරාගන්නා බුද්ධ චරිතය මෙම කතාව පුරාවටම අපූරුවට විස්තර කරන්නට ලේඛකයා සමත් වී ඇත.

“දරුව ඔබටත් උවමනා නම් අඳුර විනිවිද දැකිය හැකි නැණසක් ලද හැකියි.”

“ස්වාමීනි… නිවන් අවබෝධ වුවහොත් යලි උපතක් නැතැයි අසා ඇත්තෙමි. මේ මහා වනයෙහි සිඟාලයෙකුව ඉපදීම එවන් නිර්වාණ සම්පත්තියකට වඩා මට වැඩදායකය ස්වාමීනි.”

“දරුව නාලක… මේ මනුෂ්‍ය ජීවිතය නිසා ඔබ ලබන තෘප්තිය කුමක්ද?”

“ස්වාමීනි මම මනෝ රාජ්‍යයක ජීවත් වන්නෙක්මි. මටම ආවේණික ලෝකයක් තනා ඒ තුල උදම් සිතින් පසුවන්නෙමි.”

” දරුව මම ඔබට සත්‍යය පසක් කිරීමට තව දුරටත් නොවෙහෙසෙමි… සතුටින් සොම්නසින් ජීවත් වන්න. කැමති කාලයක් භවයෙහි සැරිසරන්න.” (පිටු 99-102)

නිර්වාණාවබෝධයට පින් පුරා ඇති මිනිසුන් සොයා ගම් නියම් ගම්වල සැරිසැරුව සේම, නිවන් මඟට එන්නට පින් පුරා නැතිවුන් නිවන්මඟට ගැනීමට දිගින් දිගටම උත්සාහ නොකොට ඔවුනට සුදුසු ලෙස ජීවත් වීමට ආශිර්වාද කළ ගෝතම බුදුන් වහන්සේ සියළු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කළ ආකාරය මෙන්ම, මිත්‍යා දෘෂ්ඨිකයන්ගෙන් බුද්ධ චරිතයට සහ ශාසනයට එල්ල වුණු ප්‍රහාර, දෝෂාරෝපණ ගැනද මෙම නවකතාවෙන් පැහැදිලි කෙරෙයි.

පිච්චමල නවකතා මාලාව ඇතුළුව සම්බුද්ධ ශාසනය, භික්ෂු චරිතය පිළිබඳව පහන් හැඟීම් පාඨකයා තුල ඇතිකරන නිර්මාණ රැසක් අපවෙත ගෙන ආ ජයසේන ජයකොඩි නම් වූ ලේඛකයා විසින් දැයට දායාද කළ තවත් සිත් පහන් කරවන කෘතියක් ලෙස “ගෝතම ගීතය” නම් කළ හැකිය.

කෙනෙකුගේ චිත්ත ශක්තිය අනුව නිවන සාක්ෂාත් කරගැනීම හෝ සසර දිගු කරගැනීම හඳුනා, කෙලෙස් වඩන්නන්ට අනුකම්පා කළ ගෝතම බුදුන් වහන්සේගේ විතරාගී ගුණය “ගෝතම ගීතය” පුරා ලියවී ඇත්තේය.